Explore Lanka International

Friday, February 7, 2014

නොදන්නා බ්ලොග් පාඨකය නුඹට ස්තූතියි....

මේ බ්ලොග් ජීවිතේ පෝස්ට් 251ක් පුරාවට මීට කලින් මම ස්තූති කලේ නම දන්න බ්ලොග් කරුවන්ට විතරයි.. එකම එක බ්ලොග් ලිපියක ඇනෝටත් ස්තූති කලා මතකයි.. ඇනෝ කිව්වට ඉතින් අපි හොඳින් දන්න අපේ වටේම ඉන්න අයනේ.. ඒක නිසා ඇනෝවරුන්ට ස්තූති කලාට අපේම අයට තමයි ස්තූති කරලා ඇත්තේ.. අද මේ හෘද්‍යාංගම ස්තූතිය පිරි නමන්නේ වෙනම කවුද කියලා හිතා ගන්නවත් බැරි මගේම ආදරණීය බ්ලොග් පාඨකයෙකුට.. කතාව මෙහෙමයි...


පහුගිය සතියක මම දැම්මනේ මගේ මීමුරේ කඳවුරු භූමිය ගැන බ්ලොග් ලිපියක් සියළු විස්තර ඇතිව.. එය අද වෙනකොට විශාල හිට් ගොඩක් කරා ගිහින් තියෙන්නේ.. ඊටත් වඩා කාරණය තමයි මේ බ්ලොග් එක කියවන කවුරු හෝ මේ ලිපිය කොපි කරලා මේල් බොඩි එකට පේස්ට් කරලා තමන් දන්න අඳුරන හැමෝටම යවලා තියෙනවා.. අන්තිමේ කොච්චර දුරක් ගියාද කියනවානම් මම ලඟට තුන් පාරක්ම ආවා.. ඒකෙන් වෙච්ච ප්‍රථිපල පහත පරිදියි.. මම ලොකු අමාරුවක වැටුනත් අනාගතය උදෙසා ඒක ලොකු ශක්තියක්.. ඒ නිසා නැවතත් කවුදැයි කියා නොදන්නා නුඹට මහ මෙරක් තරම් ස්තූතියි... අහ්.. ප්‍රථිපල කියන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන්...  

1. මීමුරේ කඳවුරු බිමකට සීමා වෙච්ච මට මී මුරේ කඳවුරු බිම් තුනක් ඉතා කඩිමුඩියේ සකසන්න සිදුවීම

2. මාර්තු අවසන් වන තෙක් මගේ ප්‍රධාන කඳවුරු භූමියේ සියළු සති අන්තයන් වෙන්වී අවසන් වීම

3. පෙබරවාරි 14,15,16 කියන දීර්ඝ සති අන්තයේ ප්‍රථම වතාවට කණ්ඩායම් පහක් හැසිරවිය යුතු වීම..

4. අප්‍රේල් මාසය පුරාවට දින 30ම තාවකාලික වෙන් කිරීම් වලින් දින පොත පිරී යාම..

මේ ආදී තවත් විස්තර තිබ්බත් මගේ බ්ලොග් ලිපිය යැවීම නිසා ඔබට පින් අත් වන ලොකුම ක්‍රියාවලිය මෙයයි..

අසරණ මීමුරේ ගම්වාසීන් 20 දෙනෙක් විතර එක දිගට මගේ කඳවුරු භූමියේ සේවයේ නිරත වෙලා ඉන්නවා.. ඔබ දුන්න ඒ හයිය නිසා අපි අපේ ප්‍රධාන කඳවුරු භූමිය ඉතා සුව පහසු කඳවුරු භූමියක් බවට දින 10ක් ඇතුලත පත් කලා.. ඒ මිනිසුන් ගන්න සතයක් ගානේ ඔබට අත් වෙන්නේ මහා කුසලයක් හිතවතාණණි..

එසේනම් බ්ලොග් පාඨක හැමටත් මීමුරේ විඳින්න අරාධනා කරමින් මම නැවතත් එම මේල් එක යවපු හිතවතාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පිරිනමනවා..

අළුත් කඳවුරු භූමියේ නව ඡා‍යාරූප ලබන සතියේ බලාපොරොත්තු වෙන්න..

Tuesday, February 4, 2014

මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.....


අද දවස පෙබරවාරි හතර වෙනිදා... අපේ ශ්‍රී ලංකාවේ 66වෙනි නිදහස සමරන දවස... මේ ගීතය ගැන ප්‍රදීප් මල්ලිගේ මූණු පොතේ දාලා තිබ්බ සටහනක් නිසා මීට අවුරුදු 18කට කලින් මතකය අවදි වෙච්ච  නිසා මට මේ ගැන ලියන්න හිතුනා.. ඒ කාලේ ඉදන්ම මගේ බ්ලොග් එක කියවපු අයට මතක ඇති දේශපාලනික සටහන් වගේම සින්දු ගැන මම දන්න දේත් කිහිපයක් ලියලා තියෙනවා.. එක කාලයක් මමයි වැම්පායි දෙන්නා රන්බන්ඩා සෙනෙවිරත්නයන් ගැන ලිපි පෙලවල් දෙකකුත් කරගෙන ගියා... එහෙම ජෝඩු දාලා බ්ලොග් ලිව්ව එකම සටහන් පෙල ඒක කියලා තමයි මට මතක.. ඒත් අද කියන්න යන්නේ දේශපාලන සටහනක්වත් හිනායන කතාවක්වත් ගීතය ගැන කතාවක්වත් නෙවෙයි.. ඔන්න කතාව...

සමහර ගීත තියෙනවා ජීවිතය වෙනස් කරන.. මගෙත් තියෙනවා එහෙම සින්දු තුනක්... ඒකෙ පළවෙනි අත් දැකීම තමයි මේ.. මම බාලදක්ෂ කථාත් කිහිපයක් ලියලා තියෙන නිසා හැමෝම දන්නවනේ මම බාලදක්ෂයෙක් වෙලා හිටපු කාලයක් තියෙනවා කියලා.. මේත් ඒ හා සම්භන්ධ කතාවක්...

පුංචි කාලේ ඉඳන්ම බාලදක්ෂ ජීවිතයට යොමු වෙන ඕනෑම කෙනෙක්ගේ සිහිනය තමයි ජනාධිපති බාලදක්ෂ පදක්කම.. පාසැල් ශිෂයයෙකුට ලංකාවේ ජනාධිපති අතින් අත්සන් කරපු සහතික ගන්න පුලුවන් දෙකයි.. එකක් ජනාධිපති c පදක්කම.. අනෙක හර්මන්ලූස් සහතිකය.. ඔය දෙකම ගත්ත අතිශය දුර්ලබ සිසුවෝත් මේ ලංකාවේ කිහිප දෙනෙක් හරියටම කිව්වොත් අතලොස්සක් ඉන්නවා.. මම ජනාධිපති බාලදක්ෂ පදක්කම ගැන කතා කරන්නම්.. මට ඒක විතරක් තියෙන නිසා..

මේක ගන්න පුංචි කාලේ ඉඳලා මාර කට්ටක් කන්න ඕන.. පුංචි වයසේ ඉන්න කෙනෙකුට ඔරොත්තු නොදෙන තරමේ කැපවීම් කරන්න ඕන.. ප්‍රජා සේවා කරලා, සැතපුම් ගනන් පයින් ගිහින් විවිධ ව්‍යාපෘති මෙහෙයවලා, කඳවුරු බිම් වල දින ගනන් නිදි මරාගෙන කට්ට කලා, වැඩ සතිය කියන සංකල්පෙත් එක්ක විවිද තැන් වල අනේක වද වේදනා විඳින එක වගේ මෙකී නොකී විවිධ වද වේදන සහ අති සුන්දර මතකයන්ගේ අග්‍ර ඵලය තමයි මේ ජනාධිපති පදක්කම.. මේක ගත්ත මිනිහෙකුගේ ජීවිතයේ ඉදිරියට එන විවිද සැප දුක් වේදනා කම්කටොලු එයාට ලොකු දේවල් නෙමෙයි.. 

බාලදක්ෂයෙක් සතුව ලොග් පොතක් තියෙනවා කියලා ඕන කෙනෙක් දන්නවනේ... ඒක පලවෙනි පිටුව ලෝක බාලදක්ෂ ලාංඡනේටයි, දෙවෙනි පිටුව ශ්‍රී ලංකා බාලදක්ෂ ලාංඡනයටයි, ඊලඟ පිටු තව ලාංඡන කිහිපයකට්යි තමන්ගේ පුද්ගලික තොරතුරු වලටයි වෙන් වෙනවා... ඊට පස්සේ තමයි තම්න්ගේ න්‍යායත්මක සටහන් සහ ප්‍රායෝගික සටහන් වලට වෙන් වෙන්නෙ.. මගේ ලොග් පොතේ මේ පුද්ගලික තොරතුරු වලටයි තමන්ගේ සටහන් වලටයි අතර පිටුවේ ශ්‍රී ලංකා ජාතික ධජයක් අලවලා මෙන්න මේ ටික ලියලා තිබ්බා....

ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය

කැබලි වලට නොබෙදී


ඥානය නිවහල් වී


බියෙන් තොරව හිස කෙලින් තබාගෙන


හිඳිනට හැකි කොහිදෝ


ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට


මාගේ දේශය අවදි කරනු මැන පියානනේ




සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ


ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා


නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ


ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට


මාගේ දේශය අවදි කරනු මැන පියානනේ




පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා


සදා දියුණු වන සිතුවිලි උදෙසා කම් කටයුතු උදෙසා


ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ


ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට


මාගේ දේශය අවදි කරනු මැන පියානනේ




සංකල්පය - රබීන්ද්‍රනාත් තාගෝර්


පද - මහගමසේකර


සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව


ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සමග සුනිල් එදිරිසිංහ



ඉතින් මේවා ඔයාලට මොකටද නේද? මම ඉතින් නිකන් ලිව්වේ... ඉතින් ඔය බාලදක්ෂ ජීවිතේ අග්‍ර ඵලය වෙච්ච ජනාධිපති පදක්කමේ සම්මුඛ පරීක්ෂණයට මම සහභාගී වුනා.. පරීක්ෂණ මණ්ඩලය මාත් එක්ක වචනයක්වත් කථා නොකර මගේ ලොග් පොත ගත්තා... පිටු පෙරලගෙන පෙරලගෙන ගිහින් ඔය පිටුවේ නැවතුනා.. ඒ පිටුව තුන් දෙනාගේ අතින් අත ගියා.. පොත වහලා මට දීලා 

"හරි... ඊලඟ එක්කෙනා එන්න"

කියලා කිව්වා.. මාත් එක්ක වචනයක්වත් කථා කලේ නෑ.. මම හිතුවා කෙළවුනා තමයි කියලා... ඒත් මගේ 17 වෙනි උපන් දිනය දවසේ මට ලැබිච්ච අපූරු උපන් දින තෑග්ග වුනේ මම ජනාධිපති බාලදක්ෂයෙක් කියලා ලිපියක් අපේ ගෙදරට ආපු එකයි...

මේ සින්දුව ඇහෙද්දි දකිද්දි මට නිතරම මතක් වෙන්නේ ඔය සිදුවීම... 


ප.ලි. අවුරුදු හතරකට ආසන්න බ්ලොග් කලාවේ 250 වෙනි පෝස්ටුව මේ වගේ රසබර මතකයකින් සටහන් කරන්න ලැබිච්ච එක ගැන මට තියෙන්නේ අසීමිත සතුටක්.. ස්තූතියි ප්‍රදීප් මල්ලි...

Sunday, January 19, 2014

නිසංසල තැනක්.. වෙනස් අත්දැකීමක්.. එන්න විඳලා බලන්න...

හැමදාම හිනා යන කථාම ලියන්න ඕන නෑනේ.. ඇනෝ නැතිව කෑමත් නෑ වගේ නිසා ඔන්න ආයෙත් ඇනෝ ඇරියා.... අද ලියන්න යන්නේ මගේ අභිවෘද්ධිය පිණිස ලියැවෙන පෝස්ට් එකක්.. ඔයාල හැමෝම කැමතිනේ විනෝද චාරිකා යන්න.. මම අද කියන්න හදන්නේ වෙනස් සංචාරක අත්දැකීමක් ගැන... හැමෝම ලංකාව වටේ ගිහින් හෝටලයක නැවතිලා අසිරිය විඳලා එනවනේ.. මෙන්න ඒ වෙනස් අත්දැකීම ගැන, වටේ යන්නේ නැතිව කෙටියෙන්...

මේක ඇත්තටම මගේ සැබෑවෙච්ච හීනයක්... පොඩි කාලේ ඉඳලම බාලදක්ශ ව්‍යාපාරයේ හිටපු නිසාත් සංචාරක කර්මාන්තය වෘත්තියක් විදිහට කරන නිසාත් මගේ පොඩි හීනයක් තිබ්බා කාටවත් කරදරයක් නැතිව විනෝද වෙන්න පුළුවන් ටිකක් අමුතු විදිහේ තැනක් නිර්මාණය කරන එක ගැන... ඒක දැන් වෙලා ඉවරයි ඔන්න.. අපි මේ තැන ගැන කොනක ඉඳන් කතා කරමු...

ගම තමයි සුන්දර මී මුරේ ගම්මානය.. බටදඬු කැලේ එහෙම නැත්නම් නකල්ස් එහෙමත් නැත්නම් සුන්දර දුම්බර මිටියාවතේ තමයි මේ ගම්මානය තියෙන්නේ.. කොල පාටින් පිරිච්ච කඳුවලින් වටවුන පහත් බිමක තියෙන මේ ගම්මානය සුන්දරත්වයෙන් අති පොහොසත්.. නුවරින් තෙල්දෙනිය හරහා හුන්නස්ගිරිය නගරයට ඇවිත් එතනින් වමට හැරිලා කිලෝමීටර් 36ක් ගමන් කලාම තමයි මී මුරේ ගම්මානය මුණ ගැහෙන්නේ... මේ තියෙන්නේ ගමේ ඡායාරූප...











නවාතැන මෙන්න මෙහෙම තැනක්.. මේකේ තනිකරම තියෙන්නේ කූඩාරම්.. කූඩාරම සම්පූර්ණයෙන්ම මෙට්ට කොට්ට ඇඳ ඇතිරිලි වලින් සමවිතයි... ඔබේ අවශ්‍යථාවය අනුව දෙදෙනෙක්, සිව් දෙනෙක් සහ පස් දෙනෙක් ඉන්න පුළුවන් කූඩාරම් අපෙන් ඉල්ලුම් කරන්න පුළුවන්... අපි එය සූදානම් කරලා දෙනවා... ඒ වගේමයි මෙහි අලෝකකරණයත් ඉතාමත් සම්ප්‍රදායානූකූල විදිහට තමයි තියෙන්නේ.. අඩි පහක් විතර උස පන්දම් රාශියකින් සහ යෝධ ගිණිමැලයකින් කඳවුර රාත්‍රිය පුරා එලිය කරනවා.. කූඩාරම් වල පාවිච්චිය උදෙසා අපි එක කූඩාරමකට එක විදුලි පන්දම බැගින් ලබා දෙනවා.. මේ තියෙන්නේ ඒ කඳවුරු භූමිය පේන හැටි...



කෑම බීම නේ ඊලඟ ප්‍රශ්ණය... නගරයේදී ඔබට කෑමට දුර්ලභ ගමේ කෑම ජාති භුක්ති විඳින්න පුළුවන් තැනක් තමයි ඒ... මොනවද කියලා බලාගන්න වෙන්නෙ නම් එතනට ඇවිල්ලම තමයි... රාත්‍රියට විතරක් පොඩි වෙනසකට බටහිර පන්නයේ ආහාර වේලක් ඔබට ලැබේවි... හැබැයි මතක තියාගන්න.. මේ කෑම වලට කිසිදු රසායනික රස කාරකයක් අපි දාන්නේ නෑ.. නැවුම් ආහාර වල රසය නැවුම් රසයෙන්ම ඔබට විඳින්න පුළුවන් වේවි... මේ තියෙන්නේ ඡා‍යාරූප කිහිපයක්... බලන්නකෝ කොහොමද කියලා...



දැන් මීමුරේ ගිහින් අපි මොනවද කරන්නේ කියන ප්‍රශ්ණයනේ තියෙන්නේ.. ඔබට හිතේ හැටියට ඇවිදින්න පුළුවන්... දොල පහරේ එබිලා ඇති වෙනකන් නාන්න පුළුවන්.. ජංගම දුරකථන අන්තර්ජාල සංඥා නැති නිසා කිසි කෙනෙක් නෑ ඔබට බාධා කරන්න.. ඊට අමතරව අපිත් එක්ක කැලේ යන්න පුළුවන්.. දිය ඇලි බලන්න, ගල් ලෙන් බලන්න.. මේ වගේ නොයෙකුත් ක්‍රියා තියෙනවා කරන්න.. ත්‍රාසජනක ක්‍රියා වලට කැමතිනම් ඒවත් කරන්න පුළුවන්... ගල් මත ලිස්සා යන්න පුළුවන්.. ගැබුරු දිය වලවල් වලට පැනලා බලන්න පුළුවන්.. දිය ඇලි දිගේ ලිස්සා පහළට එන්න පුළුවන්.. මෙහෙම කිව්වට තේරෙනවා අඩුයිනේ.. මේ තියෙන්නේ ඡායාරූප කිහිපයක්...










ඕනනම් ඉතාම නැවුම් කිතුල් රා පොල්කට්ටක රස බලන්නත් පුළුවන් වේවි...


මේ තියෙන්නේ මගේ කඳවුරු බිමට ආපු මල්ලිලා වගයක් හදපු වීඩියෝ එක.. ඒකත් බලන්නකො...


දැන් ප්‍රශ්ණේ වියදම නේද.. අපි අවම 8 දෙනෙක් බලාපොරොත්තු වෙනවා එක කණ්ඩායමකට.. එක රාත්‍රියක් සහ දින දෙකක් සඳහා මේ සියළුම පහසුකම් එක්ක ඔබට වැයවෙන්නේ එක්කෙනෙකුට රුපියල් 3500.00ක් පමණයි.. රාත්‍රී දෙකක් සහ දින තුනක් සඳහා ඔබට වැය වෙන්නේ රුපියල් 4800.00ක් පමණයි..

ඊලගට ආරක්ෂාව.. අපි ඔබට හතර දෙනෙක් ගෙන් යුත් කාර්‍ය මණ්ඩලයක් ලබා දෙනවා.. ආරක්ශකයෙක්, කෝකියෙක්, ජීවිතාරක්ශකයෙක් සහ පහසුකම් සලසන්නෙක් විඳිහට.. මේ හතර දෙනා ඔබේ ආරක්ෂාව පිළිබඳව 100%ක් බලාගනීවි.. ඒ වගේමයි සනීපාරක්ෂක පහසුකම් සියල්ලත් අපි සලසලා තියෙන්නේ... අවුරුදු දෙකකට වැඩි ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් ඉන්න පුළුවන් වාතාවරණයක් අපි එතන නිර්මාණය කරලා අවසන්..

ඉතින් අපි ඔබේ පැමිණීම අපේක්ෂාවෙන් ඉන්නවා.. වෙන්කිරීම් කරන්න අවශ්‍ය දුරකතන අංක පහත පරිදියි... වැඩි විස්තර ඕනෑම එකක් සාකච්ඡා කර ගත හැකියි..

0714449162 සහ 0815678578 අභීත

ප.ලි. - ඡායාරූප වල අයිතිය එම හිමිකරුවන් සතුවන බව කාරුණිකව සලකන්න...

Thursday, December 26, 2013

බීච් පාටි වගේ නෙමෙයි මෙන්න මෙව්වා......

ඔබේ බිරිඳ ඔබ බොනවට අකමැතිද කතාවේ දෙවෙනි එක ලියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා වෙන මාතෘකාවක් ලියන එකට සමාව දෙයි කියලා හිතනවා කියවන කට්ටිය.. පහුගිය දවස්වල තිබ්බ සයිබර් බීච් පාටි එකට යන්න හිතාගෙනම හිටියත් අධික කාර්‍ය බහුලත්වය නිසා ඒකට යන්න බැරි වුනා.. ඒත් ඉතින් අද මාතෘකාව දැක්ක ගමන් කට්ටිය එයාලගේ ආතල් කුඩු කරන්න හදනවා කියලා රෙදි උස්සගෙන බනින්න හැදුවත් කරන්න දෙයක් නෑ.. මේ කථාව කියන්නම වෙනවා...

කියවන හැමෝම දන්නවනේ මම මේ දවස්වල මීමුරේ කඳවුරු භූමිය නිසා ඉතාම කාර්‍ය බහුලයි කියලා.. මේ මාසෙටම කොළඹ ඉන්න තුන්වෙනි දවස තමයි අද.. ඒ නිසා ඒ දවස් තුනෙන් ලැබුණු පොඩි වෙලාවෙදි බ්ලොග් එක නොලිව්වොත් මේ මාසෙට බ්ලොග් ලිපියක් දාන්නම වෙන්නේ නෑ.. ඒ මම ආයෙත් හෙට මීමුරේ ගියාම එන්නේ ලබන අවුරුද්දේ නිසා... හරි.. දැන් ඇති නේ වටේ ගියා.. කථාවට යමු..

ගිය මාසේ එක්තරා දවසක විදේශ ගත වෙලා හිටපු බ්ලොග් කරුවෙක් මගේ මීමුරේ කඳවුරු භූමියට ආවා... ඔහු ඇවිත් මගේ සේවකයින් සමඟ ඉතාම කුළුපඟ වුනා වගේම මීමුරේ ගැන සැබෑ අවබෝධයකුත් ලබා ගත්තා කිව්වොත් ඉතා නිවැරදියි... එදා තමයි මීමුරේ කුඹුරු හරක් නැතිව හෑවෙත්... මගේ සේවකයින් වෙච්ච සුදු මල්ලිගෙනුයි, තිලකෙගෙනුයි ඔහු අහපු ප්‍රශ්ණේ තමයි 

"මචන්.. මේ ගමට අපෙන් මොනාද වෙන්න ඕන" කියන එක..

තිලකෙගෙයි, සුදු මල්ලිගෙයි උත්තරේ වුනේ

" ළමයි 21ක් ඉන්න ඉස්කෝලෙට මොකක් හරි ආධාරයක් කරන්න පුළුවන්නම් හොඳයි මචන්" කියන එක..

ඒ ගැන පොරොන්දු වෙලා ඔහු කොළඹ ආවා.. දින කිහිපයක් යද්දි මට අමතපු ඔහු සහ මම අතරේ වෙච්ච දෙබස තමයි මේ..

මචන් අභියා.. මම මගේ යාළුවොත් එක්ක කතා කලා.. උන් රෙඩි මොනවහරි කරන්න.. උඹ විදුහල්පති තුමාට කතා කරලා වෙන්න ඕන මොකද්ද කියලා කියහන්...

එල මචන්.. මම කියන්නම්.. මට විනාඩි කිහිපයක් දියන්...

හැරෙන තැපෑලෙන් මම ගත්තා විදුහල්පති තුමාට..

සර්.. මම අභීත.. මගේ ගිය සතියේ ආපු යාළුවෙක් කැමතියි ඉස්කෝලෙට ටිකක් ලොකු අධාරයක් කරන්න.. දැනට වෙන්න ඕන ව්‍යාපෘතිය මොන වගේ එකක්ද?

අනේ පුතා.. වැඩ තුනක් තියෙනවා.. එකක් වැසිකිලි ප්‍රශ්ණේ.. අනික ඉස්කෝලෙට විදුලිය ගන්න වයරින් කර ගන්නත් ඕන.. තව එකක් මගේ හිතේ තියෙනවා.. ඒ තමයි වේදිකාවක්.. මේ ලමයි ඩෙස් එකට තියලා බැඳලා තමයි වේදිකාව හදාගන්නේ... ඉතින් උත්සවයක් ඉවර වෙනකම් ඇගේ ලේ නෑ කොයි වෙලාවේ කවුරුහරි ඇදගෙන වැටෙයිද කියලා.. ඒක තමයි මම හිතන්නේ කරන්න පුළුවන්නම් හොඳම දේ කියලා...

හරි සර්.. මම මේ ගැන එයාට කියලා බලන්නම්...

මම මේ තත්වේ මම ඔහුට කිව්වා.. අන්තිමේ අපි ඔක්කොම එකතු වෙලා වේදිකාව හදන වැඩේ කරමු කියලයි කතා වුනේ..

ඊට දවස් දෙක තුනකට පස්සේ ඔහු මීමුරේට ආවේ අවශ්‍ය මුදල් එකතු කරගෙන.. මම බොහොම පොඩි ගානකින් සම්මදම් වෙලා ගනන රවුම් කරලා දුන්නා... පොඩි උත්සවයක් තියලා එක භාර දීලා ඔහු විදේශ ගත වුනා.. 

සති දෙකකට පස්සේ වේදිකාව විවෘත කලා.. ඒ හරියටම දෙසැම්බර් පස් වෙනිදා...

මේ තියෙන්නේ මීමුරේ පොඩි එව්වෝ වේදිකාව උඩ දක්වපු දක්ෂතා...




මේක දැකපු මට මතක් වුනේ සුනිල් එදිරිසිංහගේ මේ සින්දුව..

කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති
නල වතුරෙන් සැනහුනු දරුවෝ...
ගොයම් නැටුමකට දෑකැති ළෙලවති
කුඹුරක් ඇහැ නොගැටුණු දරුවෝ...

දෙපා සැලෙන මුත් බෙර පද තාලෙට 
කරළිය හිමි නැති අපේ ළමයි...
හේනට කුඹුරට ගත සවි දිය කර 
කරළිය අභියස බලා හිදියි...

මේ සින්දුවේ නියම අරුත මම ඇහෙන් දැක්කේ එදා.. මේ ඒ ළමයි ගැන විදුහල්පති තුමෙක් ලියපු අපූරු කවි පන්තියක්.. උපුටා ගත්තේ චින්තක අබේරත්න අයියගේ මීමුරේ ඇල්බම් එකෙන්.. මේ තියෙන්නේ ඒක...




මෙහෙව් දරුවන්ගේ කුසලතා ලෝකයට පෙන්නන්න පොඩි හරි අඩියක් තිබ්බ එකට උඹලට පින් මචන්... නම සඳහන් නොකලේ උඹලටත් මොකටද නිකන් ලේබල් අලවන්නේ කියලා හිතුන නිසායි...


ප.ලි. බීච් පාටි එකට එන්න බැරි වෙච්ච එක ගැන දුක හිතෙනවා... ඒත් වෙනදා වගේම මෙවරත් මගෙන් ලැබිය යුතු සහයෝගය දුන්න නිසා හිතට සතුටුයි ටිකක් විතර..